Useful Links: Locos of SLR External Links: SL Rail Wiki | SL Rail Info Page

Thursday, August 9, 2012

තනිවම දුම්රියෙන් බදුල්ලට I

අද ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා. පහුගිය පෝස්ට් වලින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නොයෙකුත් තාක්‍ෂණික කරුණු ගැන ලිව්වත් අද මම හිතුව මගේම අත්දැකීමක් ඔබ සැම සමඟ බෙදා ගන්න. කියන්න බලන්න කවුද උඩරට දුම්රිය මාර්ගයෙ කොළඹ ඉඳන් බදුල්ලට කෝච්චියෙන් ගිහින් තියෙන්නෙ?

අද කියන්න යන්නෙ මම තනියම කෝච්චියෙන් බදුලු ගිය හැටි!! :)

මම පොඩි කාලෙ හිටියෙ දියතලාවෙ කියල මම කෝච්චි පිස්සෙක් වූ හැටි පෝස්ට් එකේදි කිව්වනෙ. ඒ කාලෙ ගෙදර අයත් එක්ක නිතරම කෝච්චියෙන් කොළඹ, නුවර වගේ පැති වල ගියාට ඒ පොඩි කාලෙනෙ. ඉතින් ඒ ගමන් ගැන පුංචි මතකයක් හැරුනු කොට වැඩි මතකයක් නෑ. පස්සෙ රත්නපුර වගේ කෝච්චි නැති පළාත් වලට ආවම කෝච්චියෙ යෑම ඉස්සර වගේ නිතර කෙරුනෙ නෑ. 2009දි විතර රූපවාහිනියෙ විකාශය වුනා ලස්සන වැඩසටහනක්, නම "උඩරට මැණිකෙ". බලපු අයට මතකත් ඇති කොච්චර ලස්සන වැඩසටහනක්ද කියල. ඉතින් මේ වැඩසටහන තමයි නැවතත් මාව උඩරට දුම්රිය චාරිකාවක් යවන්න පෙළඹෙව්වෙ.


ඒ 2009යෙ ජූලි මාසෙ විතර. කැම්පස් එකේ විභාග තියෙන කාලෙ. පළමු වසරෙ දෙවෙනි semester එක. මට හිතුන ඊළඟට එන නිවාඩුවෙ යාළුවො කීපදෙනෙක් එක්ක කෝච්චියෙන් බදුලු යන්න. අදහස කිව්වම දෙන්නෙක් තුන්දෙනෙක් කැමති උනා. ඒත් එක්කම ඊට කලින් ගිය කට්ටියකුත් මුණගැහුණ. ඉතින් කොහොම හරි යන්න ඕන කියල හිතුන.

විභාගෙ ඉවර වෙන්න කිට්ටු වෙනකොට යාළුවො අදිමදි කලා ගමන යන්න. මොනව කරන්නද? මං හිතුව තනියම යන්න. විභාගෙ ඉවර උනේ අගෝස්තු පළවෙනිද. සිකුරාදාවක්. පහුවදාම උදේ පාන්දර 5ට විතර කොටුව station එකට ගිහින් ගත්ත බදුල්ලට දෙවෙනි පන්තියෙ ටිකට් එකක්. මට මතක ඇති කාලෙක කොටුව station එක ඇතුලට ගියාමයි. :) ටිකට් පරීක්‍ෂා කරන මහත්මයගෙන් ඇහුව කොහාටද පොඩි මැණිකෙ train එක එන්නෙ කියල. එතකොට ඒකවත් දන්නෙ නෑ. :) ඒ මහත්මය කිව්ව විදිහට දෙවෙනි වේදිකාවට කෝච්චිය එනව තව ටිකකින්.

ඒ එක්කම යකඩ කටින් "තව ස්වල්ප වේලාවකින් පෙරවරු 5.55ට මහනුවර බලා, බදුල්ල බලා පිටත්වන පොඩි මැණිකේ සිඝ්‍රගාමි දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනවා ඇත. දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පිළිමතලාව, පේරදෙණිය, ගම්පොල... ගම්පොල සිට බදුල්ල දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත." කියල කිව්වෙ නැතෑ. දැන් නං මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව මටම ඇහෙනව :D

මෙන්න විනාඩි 5ක් යන්න කලින් ලස්සන හෝන් සද්දෙකුත් එක්ක පොළව දෙදරවගෙන කෝච්චිය ආව. එදා ආපු එන්ජිම තමා අදටත් මගේ ප්‍රියතම එන්ජිම. දන්නෝ දනිති. ඒ තමයි 1961දි කැනඩාවේ සිට මෙරටට පැමිණි M2c 627 Vancouver එන්ජිම. මෙයා දැන් ටිකක් ලෙඩ ගාණෙ වුනාට ශ්‍රී ලංකා දුම්රිය සේවයෙ තියෙන ලස්සනම එන්ජිමක්.  ඇවුරුදු 51ක් වයස වුනත් අදටත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තියෙන ඉතාමත්ම හොඳ එන්ජින් පන්තියක් වන M2 පන්තියේ අති විශිෂ්ඨ එන්ජිමක්.

ඒ වෙනකොට මම දන්නෙ නෑ දෙවෙනි පන්තියෙ මැදිරි කොහෙද තියෙන්නෙ කියලවත්. මම හොයාගන්න කොට පරක්කු වැඩියි. පෙට්ටි දෙකම පිරිල. (පසුව දැනගත් පරිදි ඊට ටික වෙලාවකට පස්සෙ දෙවන පන්තියෙ මැදිරියක් කොටුවෙදිම අයින් කරල කාර්මික දෝෂයක් කියල) ඒ පාර මම ගියා තුන්වෙනි පන්තියෙ මැදිරියකට. යන්තං ඉඩක් හම්බ උනා වාසනාවට. හැබැයි ඉතිං අයිනක් නං නෙවෙයි. එදා සෙනසුරාදාවක් වෙලත් දෙවෙනි පන්තියෙ සීට් හොයන්න රස්තියාදු වෙලා එනකනුත් සීට් එකක් හිස්ව තිබුනෙ කොහොමද කියලයි මම දැන් මේ කල්පනා කරන්නෙ. :)

හරියටම පෙරවරු පහයි පනස් පහට පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ල බලා පිටත් වුනා.

fast train

මේක ඔන්න කඩාගෙන බිඳගෙන යන්න පටන් ගත්තෙ නැතෑ. මං මේ අවුරුදු ගාණකට පස්සෙයි කෝච්චියෙ යන්නෙ. අහල තිබුනෙ ගාටන කෝච්චි ගැන. මේං බොලේ ඊට ටිකකට කලින් ගිය යාල් දේවිය ඉස්සර කලා. මොන වැඩක්ද ඒ? දේවිට මොකක් නමුත් අසනීපයක් වගේ ගමන පටන් ගත්ත හැටියෙම.


Polgahawela
හැමෝම මාරු වෙන්න ඕන පොල්ගහවෙල හන්දියත් පහු වුනා. 
දැන් ඉතිං නිදා වැටෙනව හිටු කියල. උදේ පාන්දර ඇහැරපු ගමන්නෙ. ඒ මදිවට පිරෙන්න සෙනඟ. නුවර පෙරහැර කාලෙනේ. රඹුක්කන පහු කරල කන්ද නගින්න පටන් ගත්ත. දැන් තමා හොඳ හරිය. ඒත් ඉතින් කොහෙ ලස්සන බලන්නද මම සීට් එකේ මේ මුල්ලෙ ඉඳන්. :/

Bathalegala

Balana


කොහොමින් හරි පේරාදෙණයටත් ආවයි කියමුකො. මෙච්චර වෙලා මහනුවර යන අයට සම්බන්ධක දුම්රියෙ යන්න කියපු එක වෙනස් වෙලා දැන් මේක යනවලු නුවර. හරි ෂෝක්. මට මොකෝ හදිස්සියක් කියලයැ. අනිත් අය නං ඒව මේව කියලව ඇහුණ. ඒ මදිවට රියදුරු උන්නැහේ බැහැල ඇවිත් ඇස් ඇම් මහත්තයත් එක්ක උණුසුම් කතාබහක්. අනුන්ගෙ කතා අහන්න හොඳ නැති නිසා අහන් ඉන්න ගියෙ නෑ ඕන්.

පැය බාගයක් විතර පේරාදෙණියෙ ඉඳල ඕන් නුවර යන්න පටන් ගත්ත. මාස දෙකක් වැනි සුළු කාලෙකට මගෙ සරසවිය වුනු පේරාදෙණිය සරසවිය මැදින් නුවරට ගිය ගමන පේරා මතක අලුත් කරවන්නක් වුනා. නුවර ගිහිල්ලත් ලේසියට එහෙන් පිටත් උනේ නෑ. නුවරදි මට සීට් එකේ ජනේලෙ පැත්තෙ මුල්ලට පැනගන්න පුළුවන් වුනා. අන්තිමට පේරාදෙණියට ඇවිත් පේරාදෙණියෙන් පිටත්වෙනකොට අමතර පැය දෙකක් ගතවෙලා තිබුණ.


ලියාගෙන ලියගෙන ගිහින් බලනකොට පෝස්ට් එක ටිකක් දිග වැඩි වෙලා. ඉතුරු ටිකත් ලියල තියෙන්නෙ. දිගට ලිව්වම කට්ටිය බලන්න අකමැති නිසා පෝස්ට් එක දෙකට කැඩුව. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්. :) 

මේ දාල තියෙන පින්තූර මම තුන්වෙනි වතාවට තනියම යද්දි ගත්ත ඒවා.... මුල් ගමනෙදි මගෙ ළඟ කැමරාවක් තිබුනෙ නෑ.

23 comments:

  1. තනියම යද්දී බය හිතුනේ නැද්ද??
    nice pic

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. කෙහේ ගියත් ලංකාවෙ ඇතුලෙනෙ. කට්ටිය පිටරට එහෙම යනකොට යන්නෙ ඔය තනියම ඕන තරම් දුර :)

      Delete
  2. අපූරුයි යාළු..පින්තූරත් නියමයි..2නි පින්තූරයට මම ආසම ආසයි.ඒක කොපි කලා.අමනාප නැහැ නේද? :)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. :) ස්තූතියි ආවට, කමෙන්ට් කලාට :)

      Delete
  3. "කොහාටද පොඩි මැණිකෙ train එක එන්නෙ ??"


    ඇයි මහත්තයට කොහාටද එන්න ඕනෙ කියල ඇහුවෙ නැතුවා ඇති :D

    ReplyDelete
    Replies
    1. හික් හික්... එතකොට ඔව්ව දන්නෙ නෑනෙ... ඇති ඔයින් ගියා :D

      Delete
  4. කෝච්චී කතා කියවන්න තියෙනවනම් ආයේ වෙන කතා මොකටෙයි.. මාත් සෑහෙන්ඩ ආසයි කෝච්චි ගමන් වලට.
    ඔය උඩරට දුම්රිය මාර්ගය ගැන නම් කියන්ඩ වචන නෑ.. ඒ තරම්ම සුන්දර දුම්රිය ගමනක් !

    ReplyDelete
    Replies
    1. අනිවා එකෙන්ම... ස්තූතියි ආවට :)

      Delete
  5. ලස්සන ලිපියක්, ලිපිය කියවනකොට පරන මතකයන් මතක් වුනා. මමත් කිපවතාවක්ම කොලබ ඉඳල බදුල්ලට කොච්චියේ ගියා.... බදුල්ල කිට්‍ටුවෙනකොට සිට් එකේ ඉඳන් ඉඳලම එපා වෙනව....ඇයි පැය 11 විතර යනවනෙ.... හැබැයි යාළුවොත් එක්ක යනවනම් නියම ට්‍රිප් එක....බලන්න දෙවල් ගොඩක් තියෙනව.... බලන සිංහ කට, සෙන් කෙලෙයාර් දිය ඇල්ල,ආරුක්කු පාලම, පට්ටිපොල, දෙමොදර,

    ReplyDelete
    Replies
    1. ඔව් මට නං බලන හරියට වෙනකං විතර තමා සීට් එකේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඊට පස්සෙ සීට් බුක් කරල ගියත් ඉතිං ෆුට් බෝඩ් තමා :D

      Delete
  6. ලිපිය ලියද්දි සමහර දේවල් මඟ ඇරිල කියල පේන්නෙ දැන් :D ඔහොමවත් ලිව්ව මදැයි සැරින් සැරේට ලියපු ලිපියක්.

    ReplyDelete
  7. අහ් ඔය ඇත්තමද..... කලින් කියන්න තිබුනනෙ මාත් බදුල්ලෙ කොල්ලෙක්.කලින් කිව්වනම් මටත් එන්න තිබුනා hikzzzzzz.......

    ReplyDelete
  8. මම මුලින්ම ගියේ මාතරට තනියම...ගාල්ලෙදි කෝච්චිය නවත්තලා යන්නේ අනික් පැත්තට. ඒ මදිවට අන්තිම හරියේ පෙට්ටිත් ගැලෙව්වා..බය උනා අම්බානෙක. පස්සේ කාලෙක තමා සීන් එක දන්නේ....හැමදාම ගාල්ලට යනකං යන සීට් එකේ පැත්ත මාරු කරනවා...ගාල්ලේ ඉඳලා යන්නේ රිවස් එකට නැත්තං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් බෙදා ගත්තාට

      Delete
  9. අපි නම් ඔය කෝච්චි වල බදුලු ගිහින් නෑලු :D
    එතකොට උඹ තනියම දෙපාරක් බදුලු ගියාද බං :O

    ReplyDelete
    Replies
    1. තුන්පාරක් තනියම ගියා... 2009යෙ ඉඳන් අවුරුද්දකට සැරයක් ගානෙ.. මේ පාරත් යන්න ඕන :D

      Delete
  10. වැඩේ නැගල යනවා දොඩන්.. අපේ ගමන ගහකොළ දළු දාපු කාලෙක හරි ආපහු යමු.

    ReplyDelete
    Replies
    1. he he Thanks... එල එල මචන් දවසක යමු යමු...

      Delete
  11. eelaga kotas daana ikmanata balan inne math yanna thaniyama :)

    ReplyDelete
    Replies
    1. අනිවා දානව රජරට කොල්ලෝ... ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.. ආපහු එන්න.. :)

      Delete
  12. කතා නම් එලය. හැමදාම පොඩි මැණිකේ නුවර ගිහින් පැය 2ක් රස්තියදුවෙලද යන්නේ ??

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... ඒක එදා විතරක් වෙච්ච දෙයක්. දැන් පොඩි මැණිකෙ, උඩරට මැණිකෙ, නයිට් මේල් එකක්වත් නුවර යන්නෙ නෑ

      Delete

ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනා ලියා යන්න෴